Saturday, September 15, 2012

සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ

මේ පොත කියවන්න ගත්තේ කීප දෙනෙක්ම හරිම ආසාවෙන් කියෙව්ව පොතක්ය කියලා තැන් තැන් වල ලියලා තියෙනවා දැකලා. කතාව කියවන්න ගත්තු ගමන්ට මට දැනුනේ හරිම අපුලක්. මේ පොත ලියලා තියෙන භාෂා විලාසයට මං පොඩ්ඩක්වත් කැමති නෑ. පිටු තුන හතරක් කියවලා නවත්තපු මම මේ පොත කලින් කියවපු කීප දෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. එයාලා පොත කියවලා තිබ්බේ ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙනම් පොත බොක්කටම වැදුනලු. හැබැයි දැන් කියෙව්වොත් මොනවා හිතෙයිද දන්නෑ කියලා එක්කෙනෙක් කිව්වා. ඉස්කෝලේ යන කාලෙනම් හිතට වදින්න ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේ කතාවේ සමහර දේවල් පාසල් කාලේ අපි උනත් කරපුවා. අවසානයේ මං තීරණය කළා අමාරුවෙන් හරි පොත කියවලා ඉවර කරන්න. කියවගෙන යනකොට මං හිතන්නේ මම ඒ අපුලට හුරු වුනා. ඒත් කතාවේ ප්‍රධාන මාතෘකාව ගැන කිසිම පැහැදීමක් ඇති වුනේ නෑ.

"අම්මා කෙනෙක් පොඩි ළමයෙක්ට බත් කවනවා වගේ, අරුණි අක්කා මට අයිස්ක්‍රීම් කැව්වා"
පොතේ 122 පිටුවේ තියෙන මේ වාක්‍යයට මට හිනා ගිය තරමක්!
 
මම මහා ලොකුවට පොත් බර තොගයක් කියවපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉස්කෝලේ යන්න ගත්තු දවසේ ඉඳන්ම වගේ එක එක පොත් කියවලා තියෙනවා. ඒත් ඒ කිසිම දවසක මේ හොටු කතා මට අල්ලුවේ නෑ. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා වල පලවෙනි පිටු දෙක තුන විතරක් කියවලා නතර කරලා තියෙනවා කීප සැරයක්ම. 

සුළඟ වගේ ඇවිදින් නවකතාව කියවලා ඉවර උනාම මට මතක් වුනේ මේ විදිහම තව එක නව කතාවක් මං කියවලා තියෙන බව. ඒ කිව්වේ පාසල් කාලයේ හට ගන්න පෙමක්. නොගැලපෙන දෙන්නෙක්ගෙ ආදරක්. අවසානය ශෝකාන්තයක්.(මට සාපේක්ෂව පට්ට බොළඳ නව කතාවක්) ඒ පොතේ නම මට මතක නෑ. නමුත් අකමැත්තෙන් උනත් ඒ පොත කියවන්න වෙච්ච සිද්ධිය මට ආයේ මතක් උනා. මතක් වෙච්චි වෙලේ මෙතනම ඒකත් ලියලා දාන්න හිතුනා.

ඒ අපි ඕලෙවල් ඉවර වෙලා රිසාල්ට් එනකම් ඉන්න කාලයයි. අපේ සංවාද සිද්ද වුණේ sms මාර්ගයෙන්.

"ඔයා මොකද කරන්නේ?" මම sms එකක් යැව්වා.

"පොතක් කියවනවා. ඒක හරිම බොළඳයි"

"මොකක්ද බොළඳයි කියන්නේ?"

"මේ මම කියවන පොත වගේ ඒවා තමයි බොළඳ නවකතා කියන්නේ"

"මම නම් ඒ වචනේ තේරුම දන්නෑ"

"මම ඔයාට දෙන්නම් මේ පොත කියවන්න. එතකොට තේරෙයි බොළඳ කියන වචනේ තේරුම."

බොළඳ කියන එකේ තේරුම දැනගෙන හිටියත් එදා මට අවශ්‍ය දේ ඒ විදිහටම සිද්ධ උනා. ඒ කියනේ මම ඇයව මුණ ගැහෙන්න පොටක් පාද ගත්තා. දැන් කල්පනා කළාම ඇගෙයි මගෙයි දෙබසත් බොළඳයි. ආදරේ කියන බැඳීමේ, බොළඳ කමත් එක ලක්ෂණයක්ද කියලත් වෙලාවකට හිතෙනවා!

මගේ ප්‍රථම ඒක පාර්ශවික ආදරය, ඇගෙයි මගෙයි මිත්‍රත්වය නැති කළේ ඒ මිත්‍රත්වය ආදරයක් බවට පෙරල ගන්න මං කරපු උත්සාහයයි. මීට සති කීපයකට උඩදී මට ඇයව මූණටම මුණ ගැහුනා බොරැල්ල හන්දියේදි. මමයි ඇයයි දෙන්නම අපි අපිව නොදැක්ක ගානට බිම බලාගෙන ගියා. මට දුකක්වත් සතුටක්වත් දැනුන්නෑ. දැන් කොච්චර කල්ද! මතකයන් විතරක් වෙලා. ඒ මතක වලට තව දුරටත් හැඟීම් අවුස්සන්න බෑ!