Sunday, December 30, 2012

දෙහි: සුවඳ, රස සහ කටු - හිමාලි එන්. ලියනගේ

හොඳ පොතක්. පොත මුලින් කියවද්දී මහ බැංකුවේ බෝම්බ පිපිරීම වැනි සිද්ධි උවමනාවට වඩා විස්තර කරලා තියෙන ගතියක් දැනුනා. වෙලාවකට හිතුනා ඒවා කතුවරියගේ හැබෑම අත්දැකීම් නිසා එහෙම උනාදෝ කියලත්. කතුවරියගේ අත්දැකීම් උනා හෝ නූනා ඒවා කතාවට අදාල බව දැනුනේ පොත කියවලා ඉවර උනාමයි. ලේඛන භාෂාවෙන් දිවෙන පොතේ මුල හරියේ සමහර වාක්‍යයන්(දෙබස් නොවෙන) හිටි හැටියේම කථන භාෂාවෙන් ලියවිලා තියෙන ගතියක් දැනුනා. උදා:- "ස්වරය කොතරම් සන්සුන් උනත් ඒ සැනසුම් සුසුම් ටෙලිෆෝන් එක අතරින් මට ඇහෙනවා" (පිටුව 16) මට මතක විදිහට එහෙම වාක්‍යය කීපයක් තිබ්බේ පොතේ මුලම හරියේ විතරයි.

උඩ ඡේදේ කිව්වා වගේ සමහර සිද්ධීන් උවමනාවට වඩා විස්තර කළා යැයි පොත කියවන්න පටන් ගත්තු ගමන් දැනෙන නිසා මුල හරිය පොඩි කම්මැලි ගතියක් නොදැනුනාමත් නෙමෙයි. හැබැයි ඉදිරියට මොකක් වෙයිද කියන කුතුහලය පොත දිගටම කියවන්න පොළඹවනවා.

වැදගත්ම දේ මේ පොතේ අවසානයයි. ඇත්තටම ඒක ඉතාමත් හොඳ අවසානයක්. පොත අගට යනකොට රමේෂ්ගේ හැසිරීම් රටාව නිසා ඔහු කිසියම් අයුරකින් ත්‍රස්ථවාදීන් හා සම්බන්ධ ඇතැයි කියලා මට හිතුනත් පොතේ අවසානයට එන තෙක්ම යසීමා වැනි චරිත ගැන සැකයක් මට ඇති නොවුන තරම්. පාඨකයාට(මට) අනුමාන කළ නොහැකි විදිහේ අවසානයක් කියවන්න ලැබීම ඇත්තටම සතුටක්!

"මිනිස්සුන්ගේ ජීවිත අරගලයක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නිසාමයි. තැපෑලෙන් බඩුවක් යැව්වම ඒක හොරකම් කරන්නේ එතන වැඩ කරන උන්මයි. පොලීසියට පැමිණිල්ලක් ගෙනිච්චාම ඇඳුරුම් කමක් හොයාගෙන පගාවක් ගෙනත් දුන්නොත් තවත් මිනිහෙක් පාගන පොලිස් කාරයා මේ සමාජයේම තවත් මිනිහෙක්. රටේ එනර්ජි ක්‍රයිසිස් එකක් තියෙද්දී, වායු සමීකරණය කරපු සාප්පුවල දොරවල් මුළු දවල් කාලෙම හායි ගාලා ඇරලා දාලා. රෑට ලාස්වේගාස් වලට වැඩියෙන් ඒවායේ ලයිට් දාලා. හැම තැනම ප්‍රමිතියකට නැතිව කොන්ක්‍රීට් ගොඩනැඟිලි අටවනවා. වතුර බහින්නේ නැතුව ගං වතුර ගැලුවම ආණ්ඩුවට බණිනවා. දවසක් කොළඹ තියෙන පොෂ්ම ඇඳුම් කඩයකින් එළියට ආව නෝනා කෙනෙක් පැජරෝ එකට නගින්න ඉස්සෙල්ලා බිබී හිටපු ඩිස්පෝසිබල් කප් එක බිමට විසි කළා. තවත් මොනවද?" (පිටුව 149)

මේ පොතේ කතුවරියට බ්ලොග් එකක් තියෙනවා. මේ තියෙන්නේ ලින්ක් එක -  http://www.alimetree.com/

Thursday, December 27, 2012

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා - සයිමන් නවගත්තේගම

"මං හරි ගඳයි නේද?"

ඈ හැරී ජලාශය දෙස බලා නැඟී සිටියා ය. දුන්න ඊතල මිටිය මිටිය ගලවා ඔහු පසෙක අත හැරියා ය.

"මං උඹ වෙනුවෙන් දිය නා ගන්නම්"

ඈ මනාව දිය නානු බලා සිටි දඩයක්කාරයාට මෙහෙම සිතුණේය.

"භගිනිය නම් වූ යකින්න කාමයෙන් මුසපත්ව සිටින්නී ය. ඇයට ඇගේ රැහැ පත් ව ඇත්තා වූ මරණ භීෂණය මතක නැතිව ගොස් ඇත්තේ ය. ඈ විසින් ආරක්ෂා කළ යුතු මා, ඕනෑම මොහොතක මරා දැමීමට පාවිච්චි කළ යුතු දුනුදිය මා අසළ ම දමා ගියා ය."

ඒ සමඟ ම ඔහුට ඇගේ මුඛයේ සිදු වූ විපර්යාසය ගැන ද මෙහෙම කල්පනාවක් ඇති විය.

"අනෙක් හැම විටෙක ම අපවිත්‍ර යයි සලකනු ලබන වසු පැටවාගේ මුව ඌ කිරි උරා බොන විට පවිත්‍ර ය. එබැවින් ඌ ඉඳුල් කළ කිරි දොවා ගනු ලබයි. බල්ලා ගේ ඉඳුල් නො කෑ යුතු බවට නියමයක් ඇත. බල්ලා දඩයම් කළ සතා කෑමට ගනු ලැබේ. එබැවින් දඩයම් කරන විට බලු කට පිරිසිදු ය. පළතුරු ගෙඩිවලට ඇන බිම හෙලන විට වවුලා ගේ කට ද කුරුල්ලා ගේ හොට ද පිරිසිදු ය. අන් හැම විටම කසල ගොඩක් සේ අපවිත්‍ර ස්ත්‍රී මුඛය රති ක්‍රීඩා අවස්ථාවෙහි දී නිර්මල ය....."


පිටු -33, 34-