Saturday, October 6, 2012

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා - සයිමන් නවගත්තේගම

තමාට දඩයක්කාරයෙකැයි කියා හාමුදුරුවෝ කීවෝය. ඔහුට මෙය නැවත වතාවක් මේ වෙලාවේ දී මතක් වූයේය.

ඔහු පොකුණ පසුකොට යන්නට ගිය නමුත් කකුල් දෙක ඇදුණේ පොකුණ දෙසට ම ය. හිතේ ඝට්ටනය වැඩි වෙලාවක් පැවතුනෙ නැත. පොකුණ අසබඩ ගල් බෙනය දිහා බැලුවේ ද හැමදා ඒ පුරුද්දට වගේ ය. ඔහු අමුඩ රෙද්ද බුරුල් කොට හරි බරි ගැහී ගල් බෙනය පේන තෙක් හරියේ ගල්තලාව මත හිඳ ගත්තේ ය. මළ හිරු බැස යන නමුත්, දහවල සද්ද වියැකී යමින් වනාන්තරයේ රාත්‍රී ශබ්ද ආරම්භ වන නමුත් ඉන් පසු ඒ කිසිවක් ඔහුගේ දෑසට කනට වැද්ද ගත්තේ නැත. ඔහු හාමුදුරුවන් සේ ධ්‍යාන ගත වී අඩවන් දෑසින් බලා සිටියේ ය.  ඔහුගේ දෑසේ ඒකායන ආරම්මණය ගල් බෙනය වී ය. මුහුණ පුරා ගන ව වැඩුණු උඩු රැවුල් කොනක් ඔහුගේ දත් අතරට නිතැතින්ම හසුවී තිබිණි. වමාරා කන මීමෙකු මෙන් ඔහු රැවුල් කොන් සූප්පු කරමින් බලා සිටියේ ය.

ඔහුගේ දර්ශන පථයට ආරම්මණය දිගේ ඇදී එන්නට වී ය. බෙනයේ සැඟ වී දවස පුරා සිට ඇතැම් හැන්දෑවක එළියට එන නාග මාණවිකාව ඇයයි. ගල් බෙනයෙන් එළියට ආ ඇය නිශ්චල ව සිටියා ය. ඇය ඔහු දිහා බලා සිටින බව ඔහුට සහතික ය.

ඒ සමඟ ම ඔහු පිටුපසින් 'ෂූස් ෂූස්' යැයි සිහින් ශබ්දයක් ඇසෙන්නට විය. ඔහු ඒ හඬ මනාව හැඳින්නේ ය. පර්වතයේ විහාර කුටිය පිටුපස නිධානය රකින නාගරාජයා ඔහු ය. ඔහු නාග මාණවිකාව දිහා බලාගෙන තමා හරහා ඇය කරා සංඥා යවමින් කෙමෙන් කෙමෙන් ඇදී එන බව ඔහු හැඳින දන්නේ ය. දඩයක්කාරයා හැරී බැලුවේ නැත.

දඩයක්කාරයා නාග මාණවිකාවගේ අලංකාර කුඩා පෙණ ගොබය දිහා වශීකෘත ව බලා සිටියේ ය. ඔහු හිතා මතා ම වගේ නාගරාජයා දිහා බැලුවේ නැත. දැවැන්ත වූ ද ඉතා හැඩ වැඩ වූ ද නාගරාජයා දිහා ඔහු නොබැලුවේ ඔහු කෙරෙහි ඇති විය හැකි ඊර්ෂ්‍යා පරවශ ක්‍රෝධයක් මඟහරින්නට මෙනි. නාග මාණවිකාව පියකරු පෙන ගොබය දිග හැර රැඟුමක් ආරම්භ කරන්නට මෙන් සෙමෙන් සෙමෙන් එය තාලයකට දෙපැත්තට වනයි. නාගරාජයා ඒ පැත්තට ඇදී යනු ඔහුට යන්තමට පෙනෙයි. මේ සමඟම දඩයක්කාරයාගේ කුස තුළ දරණ ගැසී සිටි නාගරාජයාද ප්‍රාණවත් ව දිග හැරෙන්නට විය. ඔහු ද නාග කන්‍යාව වෙත යන්නටම මැඩගත නො හැකි ආශාවකින් දඟලන්නේ ය. එතකුදු වුවත් දඩයක්කාරයා හැඩි දැඩි ව ඇදි පුරාණ ගසක් මෙන් නො නැඟිට නො නැමී එතැන ම සිටියේ ය. දෙපය විහිදුවා නාග කන්‍යාවට මනා සේ පෙන්නට  තාලයකට පැද්දෙමින් රැඟුමක් රඟන්නට පමණක් අවකාශ සැලැස්සූයේ ය. නිධානය රකිනා නාගරාජයා දැන් නාග කන්‍යාව හා පෙණයට පෙණය තබා කයට කය තබා ඔතා නිරායාසයේ නැළවෙන්නට ඉඩ හැර සිටී. හැඩි දැඩි ලෙස පෙණය පුප්පා ගත් තමන්ගේ නාගරාජයාට අවකාශ දුනහොත් තව මොහොතකින් නිධානය රකින නාගරාජයා හා මාරාන්තික පොරයක් ආරම්භ වන්නේ ය.

ඉතාම ලෙහෙසියෙන් සතුරා මරා හෙළීමට තමන්ගේ නාගයාට හැකි බව දඩයක්කාරයා දන්නේ ය. මෙම මරණය උප'නුපන් ජාති දක්වා පවත්නා වූ වෛර ජීව බීජයක්  ජාතක කොට දා අවසන් වන බව ද ඔහු දන්නේ ය. වනාන්තරයේ සහජීවනයට බාධාවක් වන එබඳු  වෛරයක බිහිසිණු පෙරනිමිති දන්නා දඩයක්කාරයා තම අකීකරු නාගරාජයා තම දෑතින්ම  දැඩිව ගෙන මැඩ පැවැත්වූයේ ය.


ඌ වරක් දෙකක් ඔහුගේ දෑතෙහි ග්‍රහණයෙන් ගිලිහී දෑත මිටින් ගිලිහී නාග කන්‍යාව දෙසට ම තම ලේ ක්‍රෝධයෙන් ලේ තෘෂ්ණාවෙන් කිටි කිටියේ පිම්බුණු පෙණය විදිහා දැක්වූයේ ය. ගල් පර්වතය මස්තකයෙහි දිවා රෑ ජීවිත කාලයක් ආත්ම දමන චර්යාවෙහි නියුක්ත වන්නා වූ හාමුදුරුවන්ගේ වේදනා බර මුහුණ ඔහුට සිහි වූයේ ය. ඒ හා ම දමනය වූ නාගරාජයා, කුස හිස පුරවා ගත් සෙම්බුවක් පමණ ක්‍රෝධය, තෘෂ්ණාව හාත්පස වමාරාගෙන, ප්‍රාණය නිරුද්ධ වන හදවතක් පරිදි ගැහි ගැහී නිහඬ වන්නට වූයේ ය. තම කය, සපුරා සිස් වූ තුඹසක් මෙන් දඩයක්කාරයාට දැනෙන්නට වූයේ ය. තෘෂ්ණා වධයෙන් ද, දඬු අඬුවක් බඳු ව තෙරපුණු තම දැඩි ඇඟිලි දඬුවල ආත්ම දමන ග්‍රහණයෙන් ද වෙහෙසට පත් වූ නාගරාජයා හිස් හුඹස් කුහරයක් බඳු වූ ඔහුගේ සිරුර තුළට ආපසු ඇදෙන්නට වූයේ ය.



පිටු -16, 17, 18-

2 comments: