Sunday, March 3, 2013

පිරිමි ගොඩයි මං විතරයි - උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රාණය නිරුද්ධ වී දුක්ගිනි මැද - කාලකණ්නි - මූසල - ඵලක් නැති ඉරියව්වක සිටි චුට්ටී, වීදුරු බෝල ඇස් දෙකින් - මරණයෙන් බේරී - දඩයමේ පහුරු ගෑමෙන් පසුව පණ ලැබී ඉක්මනින් යහනින් නො බැස පලා යෑමට තැනක් සොයමින් උඩබැලි ව කට්ට කළුවරේ  උන්නී ය. භුක්තිය ද නැති උකස හෝ බද්ද ද නැති සින්නක්කර මළ කඳන් විකිණූ මෙහෙණියක සේ නිසොල්මන් ව - නිරාහාර ව චුට්ටී එකම තැන - එකම ඉරියව්වේ උන්නී ය.

පළමු ව; සරම උනා දැමීමෙන් නිරුවත් වූයේත් බාප්පා ය. දෙවනු ව; සරම නාභිය වැසෙන තෙක් සරසා ඔසවා විළි වසාගත්තෙත් බාප්පා ය.

පටන් ගත්තේ ද බාප්පා ය.

අහවර කළේ ද බාප්පා ය.

-පිටුව 22-


 'අර හිරේ ගිය බාප්පා. ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සරම මහණ නම ධර්මකීරිති. දැන් සර්වතෝබද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපන්. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු. දැන් කන්පෙති එල්ලෙනවා ලු. කොණ්ඩේ උඩට උඩට යනවා වගේ ලු - රැළි ගැහිගැහී. ගිහින් අහපන් අං එනවද කියලා'

'අර අම්බලන්ගොඩ කාලකණ්නි තරුණයා - දැන් එහෙ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු - උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටිව් තින්කින් උගන්නනවා ටී. වී. එකේ. ඉන්ටර්නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලෝකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං.'



-පිටු 226, 227-


'ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නේ?'
'මං හීනයක් දැක්කා'
'නරක හීනයක් ද?'
 'නෑ. දරු හීනයක්'
'මට කියපං මොකද වුණේ? උඹේ ඇඟත් රත්වෙලා'

ලෝචනා ගෙලට නළලට අත තැබුවා ය.
'මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රානුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා.'
'ඉතින් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?'

'මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න'


-පිටුව 228-


No comments:

Post a Comment