Thursday, May 31, 2012

ඇට මැස්සා

ලිපියේ අත්සනක් නොවීය. එහෙත් කුඩා කල ඔවුන් උගත් කවියක් ලිපියේ කෙළවර විය.

එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මී මැස්සෙක් මි.



 
-පිටුව 423-


පොත - The Gadfly
ලිව්වේ - E.L Voynich
සිංහල පොත - ඇට මැස්සා
පරිවර්තනය කළේ - සුගතපාල ද සිල්වා

Thursday, May 24, 2012

බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන

විවාහය විහිළුවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලී යමින් ජීවිත කාලයේම ඉකිබිඳීමට මිනිසා තුල ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකි බිඳීම, සිනහව ලෙස තර්ක කරීම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ වෙලී එයට ම දෂ්ඨ කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැන්මට අත්තික්කා කොළඅතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහා සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒත් ඒදන් උයනෙන් ගලා ගිය ගංගා දියෙහි කිමිදී යළි මතු වී පාවෙමින් තිබිණ. පාවී ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප්‍රටීස්, ටයිග්‍රීස්, පිෂොන් හෝ ගීහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති.

ඒත් මා කළ ගවේෂණ තුලින් එළැඹි ප්‍රධානතම නිගමන ත්‍රිත්වයකි. පෘථිවිය දරා උසුලන ඇපලෝ දෙවියන් ජනිත වූයේ එම ඇපල් ගෙඩියෙන් බව පළවැනි නිගමනයයි. දෙවැන්න ඇපලෝ යානය නිපදවූයේ ප්‍රේමයේ දුෂ්ඨ ධූරාවලියෙන් ඈත් වී අභ්‍යාවකාශ ගතවීමටයි. එහෙත් විශ්වය නවාතැන්පළක් කළ නොහෙනා බැවින් පෘථිවියෙහි ම ලැග ප්‍රේම කරන්නට සිදුවී තිබේ.ප්‍රේම ආතුරයන් හට, ප්‍රේම ආතුරයන්ගෙන්, ප්‍රේම ආතුරයන් කෙරෙන් ආදී ලෙස ජීවිතයේ ජීවිතේ විවිධ අවදීන් හි ඇතිවන අතුරු ආබාධ නිෂ්ඨාවටම සුව කිරීම උදෙසා ඇපලෝ රෝහල බිහිවී තිබේ. එය තුන්වැනි නිගමනයයි.


 
 පිටු 18 - 19

Sunday, May 13, 2012

ගුරු ගීතය - චිංගිස් අයිත්මාතව්

කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇතිවේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබාගනිති. එහෙත් පුළුල් මාර්ග ඇතිවූ පසු අර අඩිපාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නේ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳුවැටිද පෙනෙන්නාසේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ටද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජිවිතයේ මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය.


පිටු 82-83

රුසියානු පොත - Der erste Lehrer
ලිව්වේ - Chingiz Aitmatov
සිංහල පොත - ගුරු ගීතය
පරිවර්තනය කළේ - දැදිගම වී. රුද්‍රිගු

Saturday, May 12, 2012

දෙවියෝ සහ භූතයෝ - ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්

සිතන්නා මියගිය කල්හි ද සිතුවිලි පවතී ය යි කීම පුද්ගලයෙකු මිය යාමට ටික වෙලාවකට පෙර වයින් කරන ලද ඔරලෝසුවක් තවමත් දුවන නිසා ඔහුගේ පණ තවමත් පවතී ය යි කීම වැනි විහිළුවකි. මළ ඇඳේ දී කෙනෙකු කළ කතා බහ පටිගත කොට දැනුදු ඇසිය හැකි නමුදු ඔහුගේ ජීවිතය නොනැසී පවතේ යැ යි කීම අර්ථ ශූන්‍ය අදහසකි.

මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?

ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.

ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි.



-පිටුව 81-


පොත - Gods, Demon and Spirits
ලිව්වේ - Dr. Abraham Kovoor
සිංහල පොත - දෙවියෝ සහ භූතයෝ
පරිවර්තනය කළේ -එච්. එස්. ධර්මපාල සේනාරත්න