Tuesday, August 6, 2013

දඩයක්කාරයාගේ කතාව - සයිමන් නවගත්තේගම

ඔහු කෙල පාරක් ගසා නැගිට, අඩිපාර දිගේ තඩිබණ්ඩා ගේ  වැව් කොටුව දිහාට ගමන් කෙළේ ය. කවදාවත් එළියක් රැගෙන නොයන ඔහු ගේ ඇස් කොටියෙකුගෙ මෙන් තියුණු වෙයි. අඳුර වත් ම, ඔහුගේ දෑස තවත් තියුණු වෙයි. ඔහු තියුණු දෑසින්, අඳුර අතරින්, අදෘශ්‍යමාන කිසිවක් දිහා බලා සිටින්නට විය. ඔහු වෙලාවක් යනතුරු කිසිවක් පහත් හඬින් කතාකරමින් සිටියේ ය. නිශ්චිත තීරණයකට එළඹුනා සේ, ආපසු තම ගෙපැල වෙත ගමන් කළේ ය. අවට කිසිවෙකු සිටිනා බවට හෝඩුවාවක් නොවී ය. ඔහු පිළ අසලට ම ගොස් සිටගත්තේ ය. තමා ප්‍රමාණයට වඩා මහන්සී වී ඇත්තා සේ පෙණුනේ මන්ද? අවට සිසාරා යන කුණාටු හඬ අභිභවා, තම නාසයෙන් ගන්නා පිටකරනා, ආශ්වාස ප්‍රශ්වාස හඬ ඔහුට ඇසුණේ ය.

ඒ සමඟම පිටුපස පිළ පැත්තෙන්, තඩිබණ්ඩා උගුර පාදනු ඇසුණේ ය. තම බිරිඳගේ හතිය ඇසුණේ ය. ගොරොද්දේ අදින්නාක් මෙන්, ඇයගේ උගුරෙන් හඬක් පිටවෙනවා ද ඇසුණේ ය.

කිසිවක් සැකහැර දැනගත්තා සේ, ඔහු තුවක්කු කඳ එක කරකින් ගෙන, අනෙක් කරේ තබා ගත්තේ ය. නැවත ආපසු හැරී ගමන් කළේ ය.

-පිටුව 40-




"මොනවද මේ කුයිල? සුවඳ? - මගේ අම්බෝ කොහෙන් උඹ ගාව මේ මීක් මල් වගේ මතේ - මට මොකක් ද වෙනව වගේ - කලන්තේ - උඹ මගේ තාත්තා වගේ පුරුෂයෙක් - ඒත් මට ඉවස ඉන්ඩ බෑ මගේ අම්මේ!"

දඩයක්කාරයාගේ ඉඟ වටා අත්ගොබ යවා, ඔහුට තාංගු වී, ඔහුගේ කය පුරා වහනය වන්නා වූ, කස්තුරි මත් වාස්පයේ ගැලතෙන්නට වූවා ය. හැඩි දැඩි අංගෝනෙකු කුළු මීමෙකුගේ ඇඟ වට, නිෂ්ඵල වූ කෑදරකමකින්, ගිලගන්නට දඟලන සිහින් වූ හත් අට රියන් වූ, නාග මාපිල් කන්‍යාවක් සේ, පැටලෙන්නට වූවා ය. උමතු වූවා සේ, හඩන්නට ද, වලපින්නට ද, තෘෂ්ණාවෙන් සපා කන්නට ද, බදා ගන්ඩ ද, තල්ලු කරන්නට ද, තාංගු වෙන්ඩ ද වූවා ය.

නැවතත ඇයට, ලේ මාලේ යන්නට ගෙන තිබුණි. ඇය කෙඳිරි ගාමින්, හාමත් ව පණ නැතු ව වැටුණු එකියක සේ, එරමිණියා ගාල පාමුල පොඩි වී ගිය කුරහන් ගස් අතර, සිහින් දැරියක ව වැතිර සිරියා ය. ඇගේ කය ඝෝර වලසකුගේ නිය පහුරෙන් බරු ගැසුණා සේ විය. වියැළෙමින් තිබූ තුවාල සියල්ල නැවතත් කබල් ගැලවී ලේ ගලමින් තිබුණි.

-පිටුව 90-

Sunday, July 21, 2013

හේතුවාදය සහ කොවූර් ගේ දර්ශනය - ධර්මපාල සේනාරත්න

  • මොළය ජීර්ණය වී යාමෙන් පසුවද පුද්ගලයෙකු පවතියැයි සිතීම හරියට ක්‍රිකට් සමාජයක සියලුම සාමාජිකයින් මියගිය පසුද එම සමාජය පවතිතැයි සිතීම වැනියි.
                                                                                               - බර්ට්‍රන්ඩ් රසල්

  • ශරීරයකින් තොරව පුද්ගලයෙකු හෝ පුද්ගලයෙකුගේ සදාකාලික පැවැත්මක් ගැන මම විශ්වාස නොකරමි. පුද්ගලයා ජීර්ණ වී යන අතර අලුත් ජීවීන් තුළින් නොකඩවා ජීවිතය පවත්නා බව නම් මම විශ්වාස කරමි.
                                                      - බර්නාඩ් ෂෝ  

  • මරණයෙන් මතු කුමක් සිදුවේදැයි අපි නොදනිමු.
                                                                    - කොන්ෆියුසිස්

  • මරණයෙන් පසු මා කුණු වී යන බවත් එය මාගේ අවසානය බවත් මගේ විශ්වාසයයි.
                                                                                                      - බර්ට්‍රන්ඩ් රසල්

  • කුමන ආකාරයක හෝ ආත්මයක පැවැත්මක් ගැන කිසිඳු විද්‍යාත්මක සාධකයක් නැති වුවත් මනෝ වෛද්‍යවරයකු ලෙස එවැන්නක් පිලිගැනීමට මම මගේ සමහර රෝගීන් පොළඹවමි.
                                                                                                                 - කාල් ජුං
                                                                                   (ප්‍රොයිඩ්වාදී මනෝවිද්‍යාඥයකි.)

  • ශාරීරික වශයෙන් සිදුවන මරණින් පසුත් පවතින පුද්ගලයෙකු ගැන මට සිතාගත නොහැකියි. තම දුර්වල සිත්වල ඇති බිය හෝ ව්‍යාජ 'මම' හැඟීම (egosim) නිසා සමහරු එවැනි අදහස්වල එල්බ ගනිති.
                                 - ඇල්බට් අයින්ස්ටයින්

  • මරණින් මතු මා උපදීද යනු මම නොදනිමි.
                                                       - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්

  • ශරීරයෙන් තොරව ආත්මයක් පැවතිය හැකි නම් ඒ ආත්මය භෞතික ගුණාංගද තිබිය යුතුය. එසේ තිබේද? එසේ නම් ඒ ගුණාංග මොනවාද? එහි හැඩය, ප්‍රමාණය, පළල, දිග, පාට, ගන්ධය කුමක්ද? ඒ ඝනයක් ද? ද්‍රවයක් ද? වායුවක් ද?
                                                                    - දොස්තර ජේ. වී. ඩියුහිග්

  • මරණින් මතු සිත හෝ ආතමය ශරීරයෙන් - මොළයෙන් වෙනව නිදහස් වෙතැයි සිතීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත. ජීවිත කාලය තුළදී නොවෙන එවැනි වෙන්වීමක් මරණින් පසු සිදුවන්නේ කෙසේ ද?
                                    - බර්ට්‍රන්ඩ් රසල්

  • ආත්මයේ සදාකාලික බව හා මරණින් මතු ජීවිතය ගැන සිතමින් සතුටුවීම සමහරුන්ගේ විනෝදාංශයකි. එහෙත් එය අගයක් නැති විනෝදාංශයකි.
                                                                          - බිෂොප් පයික්

  • කුමන ආකාරයක හෝ පුනුරුප්පත්ති වාදයක් බුදුදහම හා පටහැනි වේ.
                                                                                   - ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ

  • ආත්මයක් හෝ පුනුරුප්පත්තියක් තිබේදැයි මම නොදනිමි. එවැන්නක් තිබුණත් නොතිබුණත් මට කමක් නැත.
                   -ජවහර්ලාල් නේරු

  • මා වයසට යත්ම නැවත් උපදීම ගැන මගේ ඇති සැලකිල්ල අඩුවෙයි.
                                                                                     - තෝමස් අල්වා එඩිසන්

  • පුනර්භවයක් ඇතැයි කීමත් ලෝකය මැව්වේ යැයි කියන කීම වැන්නකි. මොන අන්දමේ තර්ක ඉදිරිපත් කළත් එකම පුද්ගලයා නැවත් වරක් උපදින්නේ යයි කීම පිළිගන්නට පුළුවන් කමක් නැත.
                  -මහාචාර්ය සරච්චන්ද්‍ර

  • පුනුරුප්පත්තියක් ඇතිද නැද්ද යනු මම නොදනිමි.
                                                            - කේ. එච්. එම්. සුමතිපාල

  • පුනුරුත්පත්ති වාදය හුදු මිත්‍යා විශ්වාසයක් පමණකි.
                                                                  - ඒබ්‍රහම් ටී. කොවූර්



    -පිටු 181, 182 ,183-

Thursday, May 30, 2013

අරණකට පෙම් බැඳ

කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පන් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය. ස්වභාව ධර්මයේ මෝහනය වූ මායාකාරී බව මිනිසා තම නිවසින් ඉවත් කිරීමට සමත් වෙයි. එය ඔහු උදාසීන, හුදකලා, විරාගී, ඉබාගාතේ යන කෙනෙකු බවට පත් කරවයි. හැරී ජෝන්ස්ටෝන්, මර්කෝ-පෝලෝ, හඩ්සන්, ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි. සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි. වරක් සොබා දහම් රැජිනියගේ ඇමතුම අසා ඇගේ නිරාවරණය වූ රූපය පත්‍යක්ශ වශයෙන් දුටු කෙනෙකුට නිවසට කොටු වී පවුල් ජීවිතයක් ගත කිරීම කළ නොහැක්කකි.

-පිටුව 108-



මගේ සටහන

අරණකට පෙම් බැඳ පොත කියවා ස්වල්ප මොහොතක් ගෙවී ඇත. තවමත් මගේ කරගත් සත්‍යවරණ ගේ අරණ හැර යාමේ ශෝකය සියුම්ව මා හදවත රිදවයි. කලා කෘතියක්, අජීවී චරිතයක  හැඟිම් අපේ හැඟීම් බවට පත් කරන්නේ නම් එය විශිෂ්ඨ කලා කෘතියක් හැරෙන්නට අන් කවරක්ද?

නාගරික පරිසරයක ඉපිද නාගරික පරිසරයකම හැදීවැඩී නාගරික පරිසරයකම ජීවත්වන මා හට පොතේ විස්තර කෙරෙන වනාන්තරය දකින්නට ඇත්නම්, විඳින්නට ඇත්නම් යැයි නොසිතුනා නොවේ. වනාන්තරයක් කී විගස මා හට මතක් වන්නේ සිංහරාජය සහ ඒ අවට කැළෑරොදවල් ය. මා කීප විටක් ඒවාට ගිය නිසා එසේ වනවා ඇත. නමුත් එම එකඳු විටකවත් විවේකීව ඒ සුන්දරත්වය වින්දා දැයි මට මතක නැත. සිංහරාජයේ අඩියක් අඩියක් පාසා කකුලට ගොඩ වෙන කූඩැල්ලන් එම නිදහස උදුරා ගනියි.

අරණකට පෙම් බැඳ කෘතිය කියවා යන අතරතුර විටෙක මා ජීවත්වන නාගරික පරිසරය පිළිබඳ කණගාටුවක් ඇති කෙරෙව්වේ ය. නගරයේ නැති සුන්දරත්වයක් වනයේ මවා පෙන්වී ය. එවිට වනයේ ජීවත් වීමේදී ඇතිවෙන දුශ්කරතා මට නොපෙනී ගියේ ය. වනයේ පමණක් නොව නගරයේ සුන්දරත්වය වුව විඳින්නට හැකි බව මට මතක් කළේ මෙම ලිපිය යි

මෙම පොතේ ඇති වනයේ අලංකාරයවත් බව රැගත් කොටස් වලට වඩා මා සිත් ගත්තේ දුප්පත් මනුෂ්‍යයන්ගේ හැසිරීම්, ජීවන රටාවන් ඇති කොටස් වලටය.

෴෴෴



"මෙච්චර දෙහි පැළ මොකටද ගිරිධාරි ලාල්?"

"සර් ඕවා සරුවත් හදන දෙහි. මං ඒවා බොන්න හරි ආසයි. සීනි, සූකිරි එහෙම අපිට ලැබෙන්නේ නෑ. සරුවත් වලට පැණි දාලා ගත්තම හරි අපූරුයි."

බලාපොරොත්තුවේ ආලෝකයෙන් ගිරිධාරි ලාල්ගේ දෑස්  දීප්තිමත් වී ඇති බව මම දුටුවෙමි. 

"හුඟ දවසක ඉඳලා මං හිතාගෙන හිටියේ වගා කරන්න තැනක් ලැබුණොත් ඔය ජාතියේ දෙහි පැල ටිකක් හිටවන්න ඕනේ කියලා. අනුන්ගේ දෙහි ඉල්ලන්න ගිහින් මං කී පාරක් බැණුම් අහලා තියෙනවද? මීට පස්සේ නම් කාගෙන්වත් බැණුම් අහන්න වෙන්නේ නෑ."

-පිටු 260, 261-



ප .ලි : අරණකට පෙම් බැඳ පොත මා මීට පෙර කියවා ඇතැයි මට සිතුණි.




පොත - ආරණ්‍යක්
ලිව්වේ - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය
සිංහල පොත - අරණකට පෙම් බැඳ
පරිවර්තනය කළේ - චින්තා ලක්ෂ්මී සිංහආරච්චි

Monday, April 1, 2013

බාවනාව - සයිමන් නවගත්තේගම

ඉන් පසු ඈ කෝපි හැදූ ආම්පන්න එහාට මෙහාට කොට ඇසුරුවා ය. මා දෙස ශෝකයෙන් බලා සිටියා ය. දෙදණින් ම මා ගාවට ආවා ය. මම අත මෑත්කොට ඇස් හයා බලා සිටියෙමි.

ඈ හැට්ට කටු දෙක ගලවා දැමුවා ය. මේ ඉලංදාරියා සමඟ එන්නට පෙර ඈ ළමා සාරිය හැඳගෙන පාසලට ආ ආකාරය මසිත මෙනෙහි කරයි.

ඈ මගේ දෑස දිහාවත් හරි හැටි නොබලා, මා ළඟින් ගෝන හමේ වැතිරී, මාගේ පා උඩින් කකුලක් දමා, මාගේ හිස ඇගේ ළදරු පියයුරු වෙත තුරුල් කොට ගත්තා ය. ඇය දැනටමත් මවක් වී ඇතැයි මට සිතුණි. මා දැනටමත් ඇගේ දරුවෙකි. ගුරුවරයකු නො වේ. තවම එරී නැති කිරකින් ඈ මා පෝෂණය කොට සුවපත් කිරීමට ළෙන්ගතු උත්සාහයක යෙදෙයි.

අදෘශ්‍යමාන වුව ද, අජීවී වුව ද, අමාවක් බඳු ඇගේ මව් කිරි ධාරාවෙන් මම සිත කය පුරා පිබිදෙමි. නිරෝගී වෙමි.

කිසිදු වගකීමක්, ජීවිතයේ හරක් බරක් ඇඟපතට නොගන්නා මම, අද ද ඒ ළදැරියගේ ළපැටි තනපුඩුවලින් සිත් සේ පෝෂණය වන්නෙමි.

රමණ රිද්මයේ වේගාන්විත සුසුම් මැකී යද්දී, සෝමා ඉතාම තාත්විකව මට මෙසේ කීවාය.

"අපේ එක්කෙනා සල්ලි ටිකක් හොයාගන්න හොරාට ගස් කපනව තමයි. ඒත් හරි හොඳ මනුස්සයා. මට එකම බය එයා පොලීසියට අහුවෙයි කියල! එහෙම ඇබැද්දියක් වුණේ නැත්නම්, ගෙයක් දොරක් හදාගෙන, අපටත් කමක් පිළිවෙළක් ඇතිව ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙයි."



-පිටුව 110-

Sunday, March 3, 2013

පිරිමි ගොඩයි මං විතරයි - උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රාණය නිරුද්ධ වී දුක්ගිනි මැද - කාලකණ්නි - මූසල - ඵලක් නැති ඉරියව්වක සිටි චුට්ටී, වීදුරු බෝල ඇස් දෙකින් - මරණයෙන් බේරී - දඩයමේ පහුරු ගෑමෙන් පසුව පණ ලැබී ඉක්මනින් යහනින් නො බැස පලා යෑමට තැනක් සොයමින් උඩබැලි ව කට්ට කළුවරේ  උන්නී ය. භුක්තිය ද නැති උකස හෝ බද්ද ද නැති සින්නක්කර මළ කඳන් විකිණූ මෙහෙණියක සේ නිසොල්මන් ව - නිරාහාර ව චුට්ටී එකම තැන - එකම ඉරියව්වේ උන්නී ය.

පළමු ව; සරම උනා දැමීමෙන් නිරුවත් වූයේත් බාප්පා ය. දෙවනු ව; සරම නාභිය වැසෙන තෙක් සරසා ඔසවා විළි වසාගත්තෙත් බාප්පා ය.

පටන් ගත්තේ ද බාප්පා ය.

අහවර කළේ ද බාප්පා ය.

-පිටුව 22-


 'අර හිරේ ගිය බාප්පා. ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සරම මහණ නම ධර්මකීරිති. දැන් සර්වතෝබද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපන්. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු. දැන් කන්පෙති එල්ලෙනවා ලු. කොණ්ඩේ උඩට උඩට යනවා වගේ ලු - රැළි ගැහිගැහී. ගිහින් අහපන් අං එනවද කියලා'

'අර අම්බලන්ගොඩ කාලකණ්නි තරුණයා - දැන් එහෙ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු - උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටිව් තින්කින් උගන්නනවා ටී. වී. එකේ. ඉන්ටර්නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලෝකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං.'



-පිටු 226, 227-


'ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නේ?'
'මං හීනයක් දැක්කා'
'නරක හීනයක් ද?'
 'නෑ. දරු හීනයක්'
'මට කියපං මොකද වුණේ? උඹේ ඇඟත් රත්වෙලා'

ලෝචනා ගෙලට නළලට අත තැබුවා ය.
'මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රානුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා.'
'ඉතින් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?'

'මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න'


-පිටුව 228-


Sunday, December 30, 2012

දෙහි: සුවඳ, රස සහ කටු - හිමාලි එන්. ලියනගේ

හොඳ පොතක්. පොත මුලින් කියවද්දී මහ බැංකුවේ බෝම්බ පිපිරීම වැනි සිද්ධි උවමනාවට වඩා විස්තර කරලා තියෙන ගතියක් දැනුනා. වෙලාවකට හිතුනා ඒවා කතුවරියගේ හැබෑම අත්දැකීම් නිසා එහෙම උනාදෝ කියලත්. කතුවරියගේ අත්දැකීම් උනා හෝ නූනා ඒවා කතාවට අදාල බව දැනුනේ පොත කියවලා ඉවර උනාමයි. ලේඛන භාෂාවෙන් දිවෙන පොතේ මුල හරියේ සමහර වාක්‍යයන්(දෙබස් නොවෙන) හිටි හැටියේම කථන භාෂාවෙන් ලියවිලා තියෙන ගතියක් දැනුනා. උදා:- "ස්වරය කොතරම් සන්සුන් උනත් ඒ සැනසුම් සුසුම් ටෙලිෆෝන් එක අතරින් මට ඇහෙනවා" (පිටුව 16) මට මතක විදිහට එහෙම වාක්‍යය කීපයක් තිබ්බේ පොතේ මුලම හරියේ විතරයි.

උඩ ඡේදේ කිව්වා වගේ සමහර සිද්ධීන් උවමනාවට වඩා විස්තර කළා යැයි පොත කියවන්න පටන් ගත්තු ගමන් දැනෙන නිසා මුල හරිය පොඩි කම්මැලි ගතියක් නොදැනුනාමත් නෙමෙයි. හැබැයි ඉදිරියට මොකක් වෙයිද කියන කුතුහලය පොත දිගටම කියවන්න පොළඹවනවා.

වැදගත්ම දේ මේ පොතේ අවසානයයි. ඇත්තටම ඒක ඉතාමත් හොඳ අවසානයක්. පොත අගට යනකොට රමේෂ්ගේ හැසිරීම් රටාව නිසා ඔහු කිසියම් අයුරකින් ත්‍රස්ථවාදීන් හා සම්බන්ධ ඇතැයි කියලා මට හිතුනත් පොතේ අවසානයට එන තෙක්ම යසීමා වැනි චරිත ගැන සැකයක් මට ඇති නොවුන තරම්. පාඨකයාට(මට) අනුමාන කළ නොහැකි විදිහේ අවසානයක් කියවන්න ලැබීම ඇත්තටම සතුටක්!

"මිනිස්සුන්ගේ ජීවිත අරගලයක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නිසාමයි. තැපෑලෙන් බඩුවක් යැව්වම ඒක හොරකම් කරන්නේ එතන වැඩ කරන උන්මයි. පොලීසියට පැමිණිල්ලක් ගෙනිච්චාම ඇඳුරුම් කමක් හොයාගෙන පගාවක් ගෙනත් දුන්නොත් තවත් මිනිහෙක් පාගන පොලිස් කාරයා මේ සමාජයේම තවත් මිනිහෙක්. රටේ එනර්ජි ක්‍රයිසිස් එකක් තියෙද්දී, වායු සමීකරණය කරපු සාප්පුවල දොරවල් මුළු දවල් කාලෙම හායි ගාලා ඇරලා දාලා. රෑට ලාස්වේගාස් වලට වැඩියෙන් ඒවායේ ලයිට් දාලා. හැම තැනම ප්‍රමිතියකට නැතිව කොන්ක්‍රීට් ගොඩනැඟිලි අටවනවා. වතුර බහින්නේ නැතුව ගං වතුර ගැලුවම ආණ්ඩුවට බණිනවා. දවසක් කොළඹ තියෙන පොෂ්ම ඇඳුම් කඩයකින් එළියට ආව නෝනා කෙනෙක් පැජරෝ එකට නගින්න ඉස්සෙල්ලා බිබී හිටපු ඩිස්පෝසිබල් කප් එක බිමට විසි කළා. තවත් මොනවද?" (පිටුව 149)

මේ පොතේ කතුවරියට බ්ලොග් එකක් තියෙනවා. මේ තියෙන්නේ ලින්ක් එක -  http://www.alimetree.com/

Thursday, December 27, 2012

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා - සයිමන් නවගත්තේගම

"මං හරි ගඳයි නේද?"

ඈ හැරී ජලාශය දෙස බලා නැඟී සිටියා ය. දුන්න ඊතල මිටිය මිටිය ගලවා ඔහු පසෙක අත හැරියා ය.

"මං උඹ වෙනුවෙන් දිය නා ගන්නම්"

ඈ මනාව දිය නානු බලා සිටි දඩයක්කාරයාට මෙහෙම සිතුණේය.

"භගිනිය නම් වූ යකින්න කාමයෙන් මුසපත්ව සිටින්නී ය. ඇයට ඇගේ රැහැ පත් ව ඇත්තා වූ මරණ භීෂණය මතක නැතිව ගොස් ඇත්තේ ය. ඈ විසින් ආරක්ෂා කළ යුතු මා, ඕනෑම මොහොතක මරා දැමීමට පාවිච්චි කළ යුතු දුනුදිය මා අසළ ම දමා ගියා ය."

ඒ සමඟ ම ඔහුට ඇගේ මුඛයේ සිදු වූ විපර්යාසය ගැන ද මෙහෙම කල්පනාවක් ඇති විය.

"අනෙක් හැම විටෙක ම අපවිත්‍ර යයි සලකනු ලබන වසු පැටවාගේ මුව ඌ කිරි උරා බොන විට පවිත්‍ර ය. එබැවින් ඌ ඉඳුල් කළ කිරි දොවා ගනු ලබයි. බල්ලා ගේ ඉඳුල් නො කෑ යුතු බවට නියමයක් ඇත. බල්ලා දඩයම් කළ සතා කෑමට ගනු ලැබේ. එබැවින් දඩයම් කරන විට බලු කට පිරිසිදු ය. පළතුරු ගෙඩිවලට ඇන බිම හෙලන විට වවුලා ගේ කට ද කුරුල්ලා ගේ හොට ද පිරිසිදු ය. අන් හැම විටම කසල ගොඩක් සේ අපවිත්‍ර ස්ත්‍රී මුඛය රති ක්‍රීඩා අවස්ථාවෙහි දී නිර්මල ය....."


පිටු -33, 34-

Saturday, October 6, 2012

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා - සයිමන් නවගත්තේගම

තමාට දඩයක්කාරයෙකැයි කියා හාමුදුරුවෝ කීවෝය. ඔහුට මෙය නැවත වතාවක් මේ වෙලාවේ දී මතක් වූයේය.

ඔහු පොකුණ පසුකොට යන්නට ගිය නමුත් කකුල් දෙක ඇදුණේ පොකුණ දෙසට ම ය. හිතේ ඝට්ටනය වැඩි වෙලාවක් පැවතුනෙ නැත. පොකුණ අසබඩ ගල් බෙනය දිහා බැලුවේ ද හැමදා ඒ පුරුද්දට වගේ ය. ඔහු අමුඩ රෙද්ද බුරුල් කොට හරි බරි ගැහී ගල් බෙනය පේන තෙක් හරියේ ගල්තලාව මත හිඳ ගත්තේ ය. මළ හිරු බැස යන නමුත්, දහවල සද්ද වියැකී යමින් වනාන්තරයේ රාත්‍රී ශබ්ද ආරම්භ වන නමුත් ඉන් පසු ඒ කිසිවක් ඔහුගේ දෑසට කනට වැද්ද ගත්තේ නැත. ඔහු හාමුදුරුවන් සේ ධ්‍යාන ගත වී අඩවන් දෑසින් බලා සිටියේ ය.  ඔහුගේ දෑසේ ඒකායන ආරම්මණය ගල් බෙනය වී ය. මුහුණ පුරා ගන ව වැඩුණු උඩු රැවුල් කොනක් ඔහුගේ දත් අතරට නිතැතින්ම හසුවී තිබිණි. වමාරා කන මීමෙකු මෙන් ඔහු රැවුල් කොන් සූප්පු කරමින් බලා සිටියේ ය.

ඔහුගේ දර්ශන පථයට ආරම්මණය දිගේ ඇදී එන්නට වී ය. බෙනයේ සැඟ වී දවස පුරා සිට ඇතැම් හැන්දෑවක එළියට එන නාග මාණවිකාව ඇයයි. ගල් බෙනයෙන් එළියට ආ ඇය නිශ්චල ව සිටියා ය. ඇය ඔහු දිහා බලා සිටින බව ඔහුට සහතික ය.

ඒ සමඟ ම ඔහු පිටුපසින් 'ෂූස් ෂූස්' යැයි සිහින් ශබ්දයක් ඇසෙන්නට විය. ඔහු ඒ හඬ මනාව හැඳින්නේ ය. පර්වතයේ විහාර කුටිය පිටුපස නිධානය රකින නාගරාජයා ඔහු ය. ඔහු නාග මාණවිකාව දිහා බලාගෙන තමා හරහා ඇය කරා සංඥා යවමින් කෙමෙන් කෙමෙන් ඇදී එන බව ඔහු හැඳින දන්නේ ය. දඩයක්කාරයා හැරී බැලුවේ නැත.

දඩයක්කාරයා නාග මාණවිකාවගේ අලංකාර කුඩා පෙණ ගොබය දිහා වශීකෘත ව බලා සිටියේ ය. ඔහු හිතා මතා ම වගේ නාගරාජයා දිහා බැලුවේ නැත. දැවැන්ත වූ ද ඉතා හැඩ වැඩ වූ ද නාගරාජයා දිහා ඔහු නොබැලුවේ ඔහු කෙරෙහි ඇති විය හැකි ඊර්ෂ්‍යා පරවශ ක්‍රෝධයක් මඟහරින්නට මෙනි. නාග මාණවිකාව පියකරු පෙන ගොබය දිග හැර රැඟුමක් ආරම්භ කරන්නට මෙන් සෙමෙන් සෙමෙන් එය තාලයකට දෙපැත්තට වනයි. නාගරාජයා ඒ පැත්තට ඇදී යනු ඔහුට යන්තමට පෙනෙයි. මේ සමඟම දඩයක්කාරයාගේ කුස තුළ දරණ ගැසී සිටි නාගරාජයාද ප්‍රාණවත් ව දිග හැරෙන්නට විය. ඔහු ද නාග කන්‍යාව වෙත යන්නටම මැඩගත නො හැකි ආශාවකින් දඟලන්නේ ය. එතකුදු වුවත් දඩයක්කාරයා හැඩි දැඩි ව ඇදි පුරාණ ගසක් මෙන් නො නැඟිට නො නැමී එතැන ම සිටියේ ය. දෙපය විහිදුවා නාග කන්‍යාවට මනා සේ පෙන්නට  තාලයකට පැද්දෙමින් රැඟුමක් රඟන්නට පමණක් අවකාශ සැලැස්සූයේ ය. නිධානය රකිනා නාගරාජයා දැන් නාග කන්‍යාව හා පෙණයට පෙණය තබා කයට කය තබා ඔතා නිරායාසයේ නැළවෙන්නට ඉඩ හැර සිටී. හැඩි දැඩි ලෙස පෙණය පුප්පා ගත් තමන්ගේ නාගරාජයාට අවකාශ දුනහොත් තව මොහොතකින් නිධානය රකින නාගරාජයා හා මාරාන්තික පොරයක් ආරම්භ වන්නේ ය.

ඉතාම ලෙහෙසියෙන් සතුරා මරා හෙළීමට තමන්ගේ නාගයාට හැකි බව දඩයක්කාරයා දන්නේ ය. මෙම මරණය උප'නුපන් ජාති දක්වා පවත්නා වූ වෛර ජීව බීජයක්  ජාතක කොට දා අවසන් වන බව ද ඔහු දන්නේ ය. වනාන්තරයේ සහජීවනයට බාධාවක් වන එබඳු  වෛරයක බිහිසිණු පෙරනිමිති දන්නා දඩයක්කාරයා තම අකීකරු නාගරාජයා තම දෑතින්ම  දැඩිව ගෙන මැඩ පැවැත්වූයේ ය.


ඌ වරක් දෙකක් ඔහුගේ දෑතෙහි ග්‍රහණයෙන් ගිලිහී දෑත මිටින් ගිලිහී නාග කන්‍යාව දෙසට ම තම ලේ ක්‍රෝධයෙන් ලේ තෘෂ්ණාවෙන් කිටි කිටියේ පිම්බුණු පෙණය විදිහා දැක්වූයේ ය. ගල් පර්වතය මස්තකයෙහි දිවා රෑ ජීවිත කාලයක් ආත්ම දමන චර්යාවෙහි නියුක්ත වන්නා වූ හාමුදුරුවන්ගේ වේදනා බර මුහුණ ඔහුට සිහි වූයේ ය. ඒ හා ම දමනය වූ නාගරාජයා, කුස හිස පුරවා ගත් සෙම්බුවක් පමණ ක්‍රෝධය, තෘෂ්ණාව හාත්පස වමාරාගෙන, ප්‍රාණය නිරුද්ධ වන හදවතක් පරිදි ගැහි ගැහී නිහඬ වන්නට වූයේ ය. තම කය, සපුරා සිස් වූ තුඹසක් මෙන් දඩයක්කාරයාට දැනෙන්නට වූයේ ය. තෘෂ්ණා වධයෙන් ද, දඬු අඬුවක් බඳු ව තෙරපුණු තම දැඩි ඇඟිලි දඬුවල ආත්ම දමන ග්‍රහණයෙන් ද වෙහෙසට පත් වූ නාගරාජයා හිස් හුඹස් කුහරයක් බඳු වූ ඔහුගේ සිරුර තුළට ආපසු ඇදෙන්නට වූයේ ය.



පිටු -16, 17, 18-

Saturday, September 15, 2012

සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ

මේ පොත කියවන්න ගත්තේ කීප දෙනෙක්ම හරිම ආසාවෙන් කියෙව්ව පොතක්ය කියලා තැන් තැන් වල ලියලා තියෙනවා දැකලා. කතාව කියවන්න ගත්තු ගමන්ට මට දැනුනේ හරිම අපුලක්. මේ පොත ලියලා තියෙන භාෂා විලාසයට මං පොඩ්ඩක්වත් කැමති නෑ. පිටු තුන හතරක් කියවලා නවත්තපු මම මේ පොත කලින් කියවපු කීප දෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. එයාලා පොත කියවලා තිබ්බේ ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙනම් පොත බොක්කටම වැදුනලු. හැබැයි දැන් කියෙව්වොත් මොනවා හිතෙයිද දන්නෑ කියලා එක්කෙනෙක් කිව්වා. ඉස්කෝලේ යන කාලෙනම් හිතට වදින්න ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේ කතාවේ සමහර දේවල් පාසල් කාලේ අපි උනත් කරපුවා. අවසානයේ මං තීරණය කළා අමාරුවෙන් හරි පොත කියවලා ඉවර කරන්න. කියවගෙන යනකොට මං හිතන්නේ මම ඒ අපුලට හුරු වුනා. ඒත් කතාවේ ප්‍රධාන මාතෘකාව ගැන කිසිම පැහැදීමක් ඇති වුනේ නෑ.

"අම්මා කෙනෙක් පොඩි ළමයෙක්ට බත් කවනවා වගේ, අරුණි අක්කා මට අයිස්ක්‍රීම් කැව්වා"
පොතේ 122 පිටුවේ තියෙන මේ වාක්‍යයට මට හිනා ගිය තරමක්!
 
මම මහා ලොකුවට පොත් බර තොගයක් කියවපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉස්කෝලේ යන්න ගත්තු දවසේ ඉඳන්ම වගේ එක එක පොත් කියවලා තියෙනවා. ඒත් ඒ කිසිම දවසක මේ හොටු කතා මට අල්ලුවේ නෑ. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා වල පලවෙනි පිටු දෙක තුන විතරක් කියවලා නතර කරලා තියෙනවා කීප සැරයක්ම. 

සුළඟ වගේ ඇවිදින් නවකතාව කියවලා ඉවර උනාම මට මතක් වුනේ මේ විදිහම තව එක නව කතාවක් මං කියවලා තියෙන බව. ඒ කිව්වේ පාසල් කාලයේ හට ගන්න පෙමක්. නොගැලපෙන දෙන්නෙක්ගෙ ආදරක්. අවසානය ශෝකාන්තයක්.(මට සාපේක්ෂව පට්ට බොළඳ නව කතාවක්) ඒ පොතේ නම මට මතක නෑ. නමුත් අකමැත්තෙන් උනත් ඒ පොත කියවන්න වෙච්ච සිද්ධිය මට ආයේ මතක් උනා. මතක් වෙච්චි වෙලේ මෙතනම ඒකත් ලියලා දාන්න හිතුනා.

ඒ අපි ඕලෙවල් ඉවර වෙලා රිසාල්ට් එනකම් ඉන්න කාලයයි. අපේ සංවාද සිද්ද වුණේ sms මාර්ගයෙන්.

"ඔයා මොකද කරන්නේ?" මම sms එකක් යැව්වා.

"පොතක් කියවනවා. ඒක හරිම බොළඳයි"

"මොකක්ද බොළඳයි කියන්නේ?"

"මේ මම කියවන පොත වගේ ඒවා තමයි බොළඳ නවකතා කියන්නේ"

"මම නම් ඒ වචනේ තේරුම දන්නෑ"

"මම ඔයාට දෙන්නම් මේ පොත කියවන්න. එතකොට තේරෙයි බොළඳ කියන වචනේ තේරුම."

බොළඳ කියන එකේ තේරුම දැනගෙන හිටියත් එදා මට අවශ්‍ය දේ ඒ විදිහටම සිද්ධ උනා. ඒ කියනේ මම ඇයව මුණ ගැහෙන්න පොටක් පාද ගත්තා. දැන් කල්පනා කළාම ඇගෙයි මගෙයි දෙබසත් බොළඳයි. ආදරේ කියන බැඳීමේ, බොළඳ කමත් එක ලක්ෂණයක්ද කියලත් වෙලාවකට හිතෙනවා!

මගේ ප්‍රථම ඒක පාර්ශවික ආදරය, ඇගෙයි මගෙයි මිත්‍රත්වය නැති කළේ ඒ මිත්‍රත්වය ආදරයක් බවට පෙරල ගන්න මං කරපු උත්සාහයයි. මීට සති කීපයකට උඩදී මට ඇයව මූණටම මුණ ගැහුනා බොරැල්ල හන්දියේදි. මමයි ඇයයි දෙන්නම අපි අපිව නොදැක්ක ගානට බිම බලාගෙන ගියා. මට දුකක්වත් සතුටක්වත් දැනුන්නෑ. දැන් කොච්චර කල්ද! මතකයන් විතරක් වෙලා. ඒ මතක වලට තව දුරටත් හැඟීම් අවුස්සන්න බෑ!